ස්ටීවන්ස් දිනය

Image result for ස්ටීවන්ස් දිනය

ශ්‍රී ලංකාවට බාලදක්ෂ ව්‍යාපාරය හඳුන්වා දුන් ඉංග්‍රීසි ජාතික ෆ්‍රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස් මහතාගේ 127 වන ජන්ම සංවත්සරය ජුනි 2 දින සමස්ත ශ්‍රී ලාංකීය බාලදක්ෂයන් “ස්ටීවන්ස් දිනය” ලෙස මහත්වූ අභිමානයකින් සහ භක්තියකින් මෙම දිනය සිහිකරනු ලබයි. 1891 ජුනි මස 2 දින එංගලන්තයේ, ටාවිස්ටෝක්, ඩෙවොන් හිදී, මෙලොව එළිය දුටු ස්ටීවන්ස් මහතාගේ පින්වත් දෙමාපියන් වුයේ ලැම්බර්ට් ස්ටීවන්ස් මහත්මා සහ මහත්මියයි. ඇත්තෙන්ම ඔහුන් එදා බිඳක් හෝ නොසිතන්නට ඇත ඔහුන්ගේ පුත් කුමරා දිනක ළමා ලෝකයේ වීරයා වූ ඉංග්‍රීසින්ගේ ජීවිතවල ජීවමාන ජාතික වීරයා වූ, මැෆකින් වීරයා වන ලුතිනන් ජෙනරාල් බෙඩන් පවල්ගේ ළමුන් සහ තරුණයන් සඳහා වන ලොව ශ්‍රේෂ්ඨතම ව්‍යාපාරයේ පුරාවෘත්තයක් වනු ඇතැයි කියා.

අපගේ ආදීකතෘ BP තුමන්ට වඩා ස්ටීවන්ස් මහතා වසර 34කින් වයසින් බාලය. එදා BP නැමති සුපිරි රණකාමියාගේ වීරත්වයට ආකර්ශණය වී තම ජීවමාන වීරයා ලෙස ඔහුව සැලකු බෞතරයක්වූ ඉංග්‍රීසින් අතර ස්ටීවන්ස් නැමැති නව යොවුන් වියේ තරුණයාද සිටි බව මගේ විශ්වාසයයි.එදා අද මෙන් රිදී තීරය මත මවන ලද වීරයන් නොමැති සමාජයක් විය, ඉංග්‍රීසි හමුදා බ්‍රිතාන්‍යය කිරීටයට, අභිමානයට අන් දේශයන් යටත් කරගැනීම සඳහා කල වික්‍රමයන් නිරතුරුවම පුවත්පත් හරහා සමාජගත කෙරුණු අතර එහිදී ළමුන්ගේ සහ තරුණ තරුණියන්ගේ අවධානය දැඩිව දිනාගත් BP තුමා සහ ඔහුගේ යුධ ක්‍රමවේදයන් කෙරෙහි එවකට නව යොවුන් වියේ සිටි ස්ටීවන්ස් මහතාගේ සිතද ඇදි යන්නට ඇති අතර එම පැහැදීම සහ එංගලන්ත සමාජයේ දරුවන්ගේ ජීවිතවලට ඔහු විසින් රචිත Aids to Scouting, (ඔත්තු සේවයට ආධාර ) සහ Scouting for Boys ( බාලදක්ෂ විද්‍යාව) වැනි කෘතිය හරහා ඇති කල ධනාත්මක බලපෑම පසු කාලයේදී මෙලස බාලදක්ෂ ව්‍යාපාරය හා බැඳී කටයුතු කරන්නට ඔහුව පොළඹවන්නට ඇතැයි සිතිය හැක.

ශ්‍රී ලංකාවට බාලදක්ෂ ව්‍යාපාරය හඳුන්වා දීම

1903 දී BP තුමන් අප්‍රිකාවේ යුද සේවය අවසන් කොට යලි එංගලන්තයට ළමුන්ගේ වීරයා වී පැමිණෙන විට , ඔහු විසින් තම යුද හමුදාමය අත්දැකීම් ඇසුරෙන් ලියා පළකරනලද Aids to Scouting කෘතිය ප්‍රබලව සාමාජගත වි තිබු අතර එය එදා ඉංග්‍රීසි සාමාජයේ වැඩිම අලෙවියක් පෙන්වූ කෘතියක්ද විය, මෙම කෘතිය එදා 12 හැවිරිදි ස්ටීවන්ස් සිසුවාද පරිශීලනය කරන්නට ඇති අතර පසුකාලයේදී මෙලස බාලදක්ෂ ක්‍රියාකාරකම් කෙරෙහි සහ BP තුමන් කෙරෙහි විශේෂිත ඇල්මක් දක්වන්නට එය බලපාන්නට ඇත. නමුත් කිසි දිනක ඔහු එංගලන්තයේදී බාලදක්ෂයෙකු ලෙස කටයුතු කල බවට හෝ ප්‍රායෝගික පුහුණුවක් ලැබු බවට ප්‍රසිද්ධ තොරතුරු නැත. තමා උපන් බාලදක්ෂ ව්‍යාපාරයේ මාතෘ භූමියේදී කිසිදිනෙක බාලදක්ෂ ව්‍යාපාරයේ පහස නොලද ස්ටීවන්ස් මහතා වර්ෂ 1911දී 20 හැවිරිදි තරුණ ඉංජිනේරුවෙක් ලෙස ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ සේවය සඳහා එවකට බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යටතේ පාලනය වූ එදා සිලෝන් ලෙස හැඳින්වූ ශ්‍රී ලංකාවට පැමිණීම මෙරටට බාලදක්ෂ ජීවය එන්නත් කිරීමට දෛවය විසින් සැලසුම් කරන ලද්දකි.

මෙරටට පැමිණ මාතලේ නගරයේ ස්ථානගත වෙමින් දිස්ත්‍රීක් ඉංජිනේරු කාර්යාලයේදී , දිස්ත්‍රීක් ඉන්ජිනේරුවෙකු ලෙස තම සේවා කටයුතු කරගෙන ගිය ස්ටීවන්ස් මහතාට බාලදක්ෂ කටයුතු ඇරඹීමේ අදහස ඇතිවීම සැබවින්ම අපේ වාසනාවකි. ඒවනවිට ලොවට බාලදක්ෂ ව්‍යාපාරය හඳුන්වා දී වසර 5කට ( 1907 අගෝස්තු 01) ආසන්න කාලයක් ගත වී තිබුනද , අපේ අයෙකුට එය මෙරටට හදුන්වාදීමේ “දැඩි” හුවමනාවක් නොතිබුණු බවයි මගේ හැඟීම, එදා ඉංග්‍රීසින් යටතේ පාලනය වූ අපට මෙවැනි දේවල් සඳහා අත ගැසීම තත්වය තවත් සංකීර්ණ කරනු ඇතැයි සිතෙන්නට ඇත.

ප්‍රථම බාලදක්ෂ කණ්ඩායම 

කෙසේ නමුත් ඉංග්‍රීසින් අපට ලබා දුන් හොඳ දෑ අතර බාලදක්ෂ ව්‍යාපාරය යනු උතුම්ම දෙය යැයි කිවහොත් බෞතරයක් ඔබ මාත් සමග එකඟ වනු ඇත. ඒ 1912 වසරයි. මෙරට බාලදක්ෂ ව්‍යාපාරය උපන් වසරයි, එහි මවත් පියත් වුයේ අපේ ආදරණිය ස්ටීවන්ස්තුමා හෙවත් එෆ්. ජී . ස්ටීවන්ස් මහතාය. මෙම කටයුත්ත පාසැල් මුලීක කර ගනිමින් කිරීමේ වැදගත් කම පැවති සමාජය අධ්‍යනය කිරීමෙන් වටහා ගත් නිසාදෝ මෙතුමා එය තම කාර්යාලය සහ තම නිල නිවස ( ස්ටීවන්ස් බංගලාව) ආසන්නයේම පිහිටි ක්‍රිස්තුදේව විදුහලෙන් ඇරඹීම තමාට පහසුවක් නිසා හැඟුණු නිසාදෝ, ඒ පිළිබඳව එවකට ක්‍රිස්තුදේව විදුහලේ ගරු විදුහල්පති ඩී . අල්ෆ්රෙඩ් ජයසිංහ මහතා සමග කරුණු හුවමාරු කරමින් , සකාච්ජා කර ඒතුමන්ගේ කැමැත්ත සහ අවසරය ලබා ගත්තේය. එ අනුව විදුහල්පතිතුමා ස්ටීවන්ස් මහතාට තම පාසැලට පැමිණ දරැවන්ව අමතන්නට ආරාධනා කල අතර නියම කරගත් දිනකදි විදුහලේ ගුරු මණ්ඩලය සහ දරුවන් මුණ ගැසිමට ගිය ස්ටීවන්ස් මහතා BP තුමා පිළිබඳවත් බාලදක්ෂ ව්‍යාපාරයේ සහ පුහුණුවේ වැදගත්කම පිළිබඳවත් එතෙක් තමා රුස්කර ගත් දැනුම හරහා දරුවන්ට කාවදින අයුරින් කතා කල එතුමන්ට දරුවන්ගේ අකාර්ශණය පහසුවෙන්ම දිනාගැනීමට හැකිවිය. දරුවන් තුල ඇතිවු උනන්දුව එ මොහොතෙම කිහිපදෙනෙකුව බාලදක්ෂ ව්‍යාපාරය හා එකතු විමට පොළඹවන ලදී. විදුහල්පතිතුමන්ගේ සොහෝයුරා වු එම විදුහලේ ගුරැ මණ්ඩලයෙම සේවය කල චාල්ස් ජයසිංහ මහතාව එම කණ්ඩායමේ බාලදක්ෂ ආචාර්යවරයා ලෙස පත්කල අතර ආර්. බී. කොටුවෙගෙදර, ආර්. බී කපුවත්ත, බී. නඩරාජා, එ.එම්. හමිඩ් , එම්. සහබ්දින්, ජෝන් කරුණාරත්න සහ පීටර් බෝලිං යන බහු ආගමික සිසුන් මෙරට ප්‍රථම බාලදක්ෂ කණ්ඩායමේ සාමාජිකයන් විය.

අපගේ 3වන යටත් වීජිත කොමසාරිස්වරයා වන වරනන් ග්‍රෙනියර් මහතා ලංකා බාලදක්ෂ සංගමයේ ස්වර්ණ ජයන්ති සමරු කාලාපය හරහා පවසන පරිදි ” ඔහු ( ස්ටිවන්ස් මහතා) මෙම කාරයය කිසිදු ගරුගාම්භීර ප්‍රසිද්ධියක් නොමැතිව සිදුකළ අතර ඔහුගේ මෙම පුරෝගාමි පරිශ්‍රමය පිළිබඳ මාස ගණනාවක් යන තුරුත් එම දිස්ත්‍රීක්කයෙන් බැහැරව දැන සිටියේ ඉතා ස්වල්ප දෙනෙකි. ” නමුත් එම මුල් බාලදක්ෂ කණ්ඩායමට එවකට ඉංග්‍රීසි ආණ්ඩුවේ සිවිල් සහ යුධ නිලධරයන් බොහෝමයකගේ සහය ලැබුණු බව ක්‍රිස්තුදේව විදුහල් මුල් බාලදක්ෂයින්ගේ ලිපි වල දැක්වේ.

Image result for ස්ටීවන්ස් දිනය1914දී පැන නැගුණු පළමු ලෝක සංග්‍රාමයත් සමග ස්ටීවන්ස් මහතාව කොළඹට ස්ථාන මාරු කරන ලද අතර එය එතෙක් මාතලේ දිසාව තුල සහ මහනුවර ධර්මරාජ විදුහල හරහා පමණක් ක්‍රියාත්මක වු බාලදක්ෂ කටයුතු දිවයින පුරා පැතිරවීමට ලැබුණු කදීම අවස්ථාවක් විය. නමුත් කිස්තුදේව විදුහල් බාලදක්ෂ කටයුතු පෙර තිබු උද්යෝගයෙන් අඛණ්ඩව පවත්වාගෙන ගොස් ඇති බව එම සමුහයේ පැරණි ලොග් සටහන් වලින් පෙනේ. මාරුව ලැබ කොළඹට පැමිණිමෙන් අනතුරුව ඔහු විසින් කොළඹ දිස්ත්‍රීක්කයේ ප්‍රථම බාලදක්ෂ කණ්ඩායම 1වන කොළඹ ( අණ්ඩුකාරයාගේ කාණ්ඩායම ) නමින් ගාලු මුවදොර පිහිටි Christ Church දෙව් මැදුරෙදි 1914 ජුනී 14වන දින අරඹන ලදී. කොළඹ කොමර්ෂල් සමාගමේ සේවය කල ජෝන් යංග් මහතාව එම කණ්ඩායමේ ආචාර්යවරයා ලෙස පත්කරන ලදී. මෙම වසරේදීම ස්ටීවන්ස් මහතා විසින් බස්නාහිර පලාතේ ප්‍රාදේශික සංගමයද පිහිටුවන ලද අතර එහි ගරු ලේකම්වරයා ලෙස බී. එ. ආර්. හියුස් මහතා පත්කරන ලදි. හියුස් මහතාත් ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ සේවය කල අතර ස්ටීවන්ස් මහතා සහ ඔහු අතර තිබු වෘත්තිමය බැඳිම හියුස් මහතාව බාලදක්ෂ ව්‍යාපාරය කරා ලංකරවන්නට ඇත.

පසුව කොළඹ දිසාව පුරාවටත් කොළඹින් පිටතටත් බාලදක්ෂ ව්‍යාපාරය ගලාගෙන යෑම ක්‍රමානුකුලව ස්ටීවන්ස් මහතාගේ අධික්ෂණය සහ මගපෙන්විම යටතේ සිදුවින. 1815 සිට 1948 තෙක් සිලෝන් හෙවත් අද ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජීත පාලනයට ලක්ව පැවැති බව අපි සැම දනිමු. එ අනුව මෙරට පරිපාලන කටයුතු සිදුකලේ බ්‍රිතාන්‍යය භාවිතයන්ට සහ ක්‍රමවේදයන්ට අනුවය.

ලෝක බාලදක්ෂ නායක BP තුමන් 1914දී සිලෝන් හෙවත් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය බාලදක්ෂ සංගමයේ ශාඛාවක් ලෙස පිළිගනිමින් ස්ටීවන්ස් මහතාව බ්‍රිතාන්‍යය බාලදක්ෂ සංගමයේ සිලෝන් ශාඛාවේ ප්‍රථම යටත් විජීත කොමසාරිස්වරයා ලෙස පත්කරන ලද අතර එ අනුව මෙරට ප්‍රථම ප්‍රධාන කොමසාරිස්වරා වන්නෙද ඔහුය.

( 1948දී ඉංග්‍රීසින්ගෙන් නිදහස ලබාගැනීමෙන් අනතුරුව යටත් විජීත කොමසාරිස් තනතුරු ” ප්‍රධාන කොමසාරිස්” ලෙස භාවිතා කරන ලදී)

මෙම කාල සමයේදි බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳව සාමාජය දැනුවත් කිරිමේ අවශ්‍යතාවය දැඩිව දැනුණු අතර බාලදක්ෂ දෙමාපියන් හැරුණු කොට එ පිළිබඳව සාමාන්‍ය ජනතාවට එතරම් දැනීමක් නොතිබුණු බැවින් පුවත්පත් හරහා ප්‍රචාරක කටයුතු සිදු කිරීම කාලීනව අත්‍යවශ්‍ය විය, ස්ටීවන්ස් යටත් විජීත කොමසාරිස්තුමා විසින් The Ceylon Scout ( සිලෝන් බාලදක්ෂයා) පුවත්පත ප්‍රකාශයට පත්කල අතර එ සඳහා වටිනා ලිපී සැපයීම සාමාජයේ ඉහළ තැන්වල සිටි ප්‍රසිද්ධ ලේඛකයන් අතින් සිදුවින.තවද Ceylon Independent ( සිලෝන් ඉන්ඩිපෙන්ඩන්ට්) පත්‍රිකාවේ බාලදක්ෂ කටයුතු උදෙසා පුවත් තීරයක් සතිපතා ලබා ගැනීමට ස්ටීවන්ස් මහතාට හැකිවිය.

මේ කාලයෙදි පලමු වන ලෝක යුද්ධය ආරම්භ වී තිබීම (1914 ජුනී 28 දින ඇරඹින) නිසා යුධ රාජකාරි යටතේ රාජකීය නාවීක හමුදාවට සම්බන්ධව සේවය කිරීමට ස්ටීවන්ස් මහතාව කැඳවීම නිසා පිටව ගිය අතර යුද්ධයත් සමග ලොවපුරා බාලදක්ෂ කටයුතු තරමක් සෙමින් සිදුවු නමුදු එය ව්‍යාපාරයේ පැවැත්මට බලපෑමක් නොකලේය. 1917 වසරේදි ස්ටීවන්ස් මහතා බාලදක්ෂ ව්‍යාපාරයට කරන ලද සුවිශේෂි දායකත්වය සහ උත්කෘෂ්ඨ සේවය ඇගහීමට ලක්කර BP තුමන් විසින් ස්ටීවන්ස් මහතාට රිදී වෘකයා ( Silver Wolf ) සම්මානය ප්‍රදානය කරන ලදි. එය අපේ රටේ බාලදක්ෂ කටයුතු වෙනුවෙන් කැපවුණු පුද්ගලයෙකුට The Scout Association විසින් දෙනු ලැබු පලමු රිදී වෘකයා සම්මානයයි. 1919 වසරේදි එවකට 28 හැවිරිදි ස්ටීවන්ස් තරුණ යටත් විජීත කොමසාරිස්තුමා ගැලඩි ක්‍රාක්වෙල් මෙනවිය සමග විවාහ වි 1920 වසරේදි යලි මෙරටට තම බිරිඳ සමග පැමිණි යලිත් වෘත්තිය කටයුතු වල සහ ක්‍රියාශිලිව බාලදක්ෂ කටයුතු වල නිරතවිය. රටින් පිටව සිටින විටත් යටත් විජීත කොමසාරිස්වරයා ලෙස කටයුතු කරමින් ව්‍යාපාරයේ දියුණුවට කටයුතු කල මෙතුමා ස්ටීවන්ස් යුගයේදි මෙරටට පෝතක අංශය හඳුන්වා දිමත් (1916) මානවක අංශය හඳුන්වාදිමත් ( 1920) මුහුදු බාලදක්ෂ අංශය හඳුන්වා දිමත් ( 1918) 1921 දී සිදු කෙරැණු බී.පි තුමන්ගේ ප්‍රථම සිලෝන් චාරිකාව වැනි සිදුවිම් කැපිපෙනෙ.

1922 තම යටත් විජීත කොමසාරිස්ධුරයට සමුදුන් ස්ටීවන්ස් මහතා දිගටම කටයුතු සාර්ථක කරගන්න තම දායකත්වය ලබා දුන් අතර 1939 සංගමයේ සභාපති ලෙස පත්ව ගෞවරනීය ගිහි සේවයක් සිදුකල අතර මේ කාලයේදිම එතුමන්ව සම්මානිත ප්‍රධාන කොමසාරිස් ලෙස ගෞරවයට පත්කරන ලදී. 1940 ජුලී 30දින සම්මානිත ප්‍රධාන කොමසාරිස් ලෙස ස්ටීවන්ස් මහතා තමා විසින් ශ්‍රී ලංකාවට බාලදක්ෂ ව්‍යාපාරය ක්‍රිස්තුදේව විදුහල් සමුහය නැරඹිමට ගිය අතර එහිදි එම විදුහල් ලොග් පොතේ අත්සන් සහිත සටහාන් තබා ඇත. එදිනම තබන ලද ලෝග් සටහනකින් කියවෙන්නෙ එතුමාට ගෞරව පිණිස එදින විදුහල වසා මුලු විදුහලම අමතා කතා කිරිමට එතුමාට අවස්ථාව ලබාදී ඇති බවය.

1945 වන විට වසර 33ක් බාලදක්ෂ කටයුතු සඳහා කැපකර තිබු මෙතුමා එම සම්පුර්ණ කාලයම බාලදක්ෂ ව්‍යාපාරය හරහා මව්බිමේ තරුණ ජීවිතවල සංවර්ධනය සඳහා වෙහෙසුනු උසස් මනසකින් යුත් මානව දයාවෙන් පිරි සුදු මහතෙකු විය. ඔහු එ උදෙසා කැපකල ධනය සහ ශ්‍රාමය අමිලය. මෙරටට බාලදක්ෂ කටයුතු හඳුන්වා දුන් යුගයේදි එයට අවැසිවු නිල ඇඳුම් ඇතුලු සියලුම අවශ්‍යතාවයන් සපයන ලද්දෙ එතුමන්ගේ පෞද්ගලික ධනයෙන් බව අපට පහසුවෙන්ම උපකල්පනය කලහැක. එය පුංචි නිදසුනක් පමණි. මෙරට බාලදක්ෂ ව්‍යාපාරය අද පවතින තත්වය කරා පැමිණි ගමනෙදි ස්ටීවන්ස් නාමය වු කලී එහි සෙලවිය නොහැකි පදනමයි.

1945දී තම 54 වියේදි සේවයෙන් විශ්‍රාම ගෙන තම රටට ගියේ අපේ ලොකයේ විරයෙකු ලෙසය. ඉන් පසුව එතුමන් පිළිබඳව බාලදක්ෂ කටයුතු වල නියැලිම සම්බන්ධයෙන් සැලකිය යුතු තොරතුරක් වර්ථා නොවන අතර 1961 නොවැම්බර් මස ඩෙවෝන් හි සිට 1962 වසරේදි මෙරට සමරන ලද ලංකා බාලදක්ෂ සංගමයේ ස්වර්ණ ජයන්ති සමරු කලාපය සදහා තම සුභ පැතුම් එක් කරන ලදි. එහින් පැහැදිලිවම පෙන්වා දෙන්නේ 70 වියේදිත් එතුමන් සමාන්‍ය පරිදි ජීවත්වු බවයි. නමුත් එතුමන් ස්වර්ගස්ථවු දිනයක් පිළිබඳව පැහැදිලි තොරතුරක් දක්නට නොමැත.

Leave a Reply