මහින්ද රාජපක්‍ෂ විද්‍යාලයේ බාලදක්ෂ පුහුණු වැඩමුළුව

2011 වසරේ ජනවාරි 20 වෙනිදා ආරම්භ කෙරුණු හෝමාගම පිටිපන මහින්ද රාජපක්‍ෂ විද්‍යාලය අංගසම්පූර්ණ අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණැතිව නව ආරකින් ආරම්භ කරන ලද මිශ‍්‍ර පාසලකි.  හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේත්, හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මත අක්කර විසිපහක සුන්දර භූමි භාගයක බිහි වූ මෙම පාසල, හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා විසින් සිසු අයිතියට පත් කරනු ලැබීය. දේශීයත්වය, අව්‍යාජත්වය, සංකීර්ණත්වය අර්ථවත් කරන කුරහන් වර්ණය සහ මුහුකුරා ගිය බව, පරිණත බව, පැසුණු බුද්ධිය අර්ථවත් කරන කහ වර්ණය යොදා ගනිමින් විදුහල් ධජය නිර්මාණය කර තිබෙන අතර, ‘‘තමන්ට තමන් ආලෝකයක් වන්න’’ යන අර්ථය ගෙන දෙන ‘‘අත්තදිපා විහරත’’ යන පාඨය විදුහලේ ආදර්ශ පාඨය ලෙස යොදාගෙන තිබේ.

විදුහල තුළ මලල ක‍්‍රීඩා, කණ්ඩායම් ක‍්‍රීඩා, ආත්මාරක්ෂක ක‍්‍රීඩා, රයිෆල් වෙඩිතැබීම හා කඳු නැගීම ආදී සෑම ක්ෂේත‍්‍රයක් ම ආවරණය වන පරිදි ක‍්‍රීඩා ඉසව් ක්‍රියාත්මක වේ. නැටුම් ගැයුම් සංගීතය, විවිධ භාෂා මෙන්ම ඉංග්‍රිසී කථන පුහුණුවද ආදී විෂයයන්ට අදාල ක්‍රියාකාරකම්ද, ක්‍රීඩා වැනි විවිධ ක්‍රියාකාරකම්වලට සිසුන් නියුක්ත වේ. පෝය දින සිල් සමාදන්වීම සහ සිකුරාදා දින ජාතික ඇඳුමෙන් සැරසී සියලුම සිසුන් පාසලට පැමිණිමද සුවිශේෂී සිදුවීමකි.

පාසල් විෂය නිර්දේශය ළමා මනසට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීමේදී හඳුන්වා දෙනු ලැබූ විෂය සමගාමී කටයුතු අතර බාලදක්ෂ පුහුණුවට ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. ඒ අනුව පාසල තුළ බාලදක්ෂ කටයුතු සිදුකරන නොකරන සියළුම 7-8 වසර සිසුන් සඳහා බාලදක්ෂ පුහුණු ක්‍රියාකාරකම් ප්‍රයෝගිකව හඳුන්වා දීමේ ප්‍රචාරාත්මක කටයුත්තක් පසු ගියදා පවත් වනු ලැබීය. මේ සඳහා ජාතික බාලදක්ෂ මූලස්ථාන නිලධාරීන්, බාලදක්ෂ පුහුණුකිරීමේ නිලධාරීන් සහභාගී විය.

   

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *